පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් නොකිරීම සහ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් ලබන 22 වැනිදා අධිකරණයේ පෙනී සිට හේතු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (15) ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි නිකුත් කර තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පෙර නඩු දිනයේදී ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත දන්වා තිබුණද, අද (15) දින වන විටත් එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී තිබේ.














