ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සහ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගත් විට, ඉදිරියේදී මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.
පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවලට සාපේක්ෂව වර්තමානයේ ඉන්ධන මිල ගණන්වල යම් අඩුවීමක් පෙන්නුම් කළද, මැදපෙරදිග යුද්ධයට පෙර පැවැති මිල මට්ටමට වඩා වැඩි මිලක් තවදුරටත් ලෝක වෙළෙඳපොළේ පවතින බව ඒ මහතා පෙන්වා දෙයි. සැප්තැම්බර් මාසය වන තෙක් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලෙහි කැපී පෙනෙන අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බවත්, මේ හේතුවෙන් මිල අඩුවීමක් සිදුවීමට ඉඩක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඉන්ධන මිලෙහි සුළු වැඩිවීමක් සිදු වේද නැතහොත් පවතින මිල ගණන් යටතේම පවත්වා ගන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව නෙත්තිකුමාරගේ මහතා අවධාරණය කළේය. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වීමට නියමිත අතර, ලෝක වෙළෙඳපොළේ අද (29) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙන මිල ගණන් සහ සෙසු සාධක අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් තීරණයකට එළඹෙනු ඇත. කෙසේ වුවද, විශාල මිල වැඩිවීමක් සිදු නොවන බවත්, මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, මෙරටට බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක් රැගත් WTI බොරතෙල් නෞකාවක් ඊයේ (28) දිවයිනට පැමිණි බවත්, ඉදිරි 31 වැනිදා වන විට මර්බන් වර්ගයේ බොරතෙල් මෙට්‍රික් ටොන් 95,000ක් රැගත් තවත් නෞකාවක් පැමිණීමට නියමිත බවත් කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















