ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (28) දින නිල වශයෙන් විවෘත කරන ලදී.
මෙම අවස්ථාව සඳහා නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නවසීලන්තයේ වෙසෙන විදේශීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මෙන්ම එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ද එක්ව සිටියහ. දෙරට අතර පවතින දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා වර්ධනය කර ගැනීම උදෙසා මෙම නව මහ කොමසාරිස් කාර්යාලය මගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම, නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය කොන්සියුලර් සේවාවන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටු කර ගැනීමට ද මෙමගින් අවස්ථාව උදාවනු ඇත.
















