මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ මාරාන්තික ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පසුව වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන් දැඩි ශාරීරික වධහිංසාවලට ලක් වෙමින් සිටින බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) චෝදනා කරයි. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කරන ලද රැඳවියන්ට එහිදී දරුණු ලෙස පහර දී ඇති අතර, ඉන් සමහරෙකුගේ පාද බිඳී තවත් පිරිසකගේ කොන්දේ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව ඇති බවට අඛණ්ඩව තොරතුරු ලැබෙමින් පවතින බව එම සංවිධානය නිකුත් කළ හදිසි නිවේදනයක දැක්වේ.
මීට අමතරව වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කරන ලද රැඳවියන්ටද ඉදිරියේදී මෙලෙස ප්‍රහාර එල්ල කිරීම සඳහා සූදානමක් පවතින බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වැඩිදුරටත් කියා සිටියි. මෙම පහරදීම් වහාම නතර කිරීමට මැදිහත් වන ලෙසත්, තුවාල ලැබූ රැඳවියන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී මීගමුවෙන් මාරු කළ සියලුම සිරකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් එම සංවිධානය බලධාරීන්ගෙන් හදිසියේ ඉල්ලා සිටී.
















