සම්මානිත දෙමළ ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන් විසින් රචිත කෘති 5ක පිටපත් 360ක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් ඒවා සිය භාරයට ගෙන තිබේ. මෙලෙස රඳවාගත් කෘති අතරින් පොත් දෙකක් නිදහස් කිරීම රේගුව විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව “පයන්ගරවාදී” (Payangaravadi) සහ “සයිනයිඩ්” (Cyanide) ඇතුළු කෘති තුනක් නිදහස් කිරීමට තීරණය කර ඇති නමුත් “එලුත්තල් යුද්ධම් සෙයිගරේන්” (Eluththal Yuddham Seigaren) සහ “ඉප්පොදෙයි ඉන්ගෙයි ඉරෙන්ඩර් දේසන්ගල්” (Ippodei Ingei Irendar Desangal) යන කෘති දෙක නිදහස් කිරීම රේගුව ප්‍රතික්ෂේප කර තිබේ. මෙම කෘති දෙක නිදහස් නොකිරීමට හේතුව ලෙස රේගුව දක්වා ඇත්තේ රේගු ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි (රජය කෙරෙහි අප්‍රසාදය හෝ අසමගිය ඇති කිරීමේ) කරුණු ඒවායේ අඩංගු බව ආරක්ෂක අමාත්‍යාංශය සහ සංස්කෘතික බලධාරීන් කළ නිර්දේශ මගින් තහවුරු වී ඇති බවයි.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ලේඛක දීපචෙල්වන් පවසන්නේ මීට පෙර 2020 වසරේදී ද තමන්ගේ “නඩුගල්” කෘතියට මෙවැනිම බාධාවන්ට මුහුණ දීමට සිදු වූ බවයි. පොත්වල අන්තර්ගතය නිවැරදිව කියවා වටහා නොගෙන මෙලෙස තහනම් කිරීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.













