රුපියල් කෝටි 23කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඇංගෝලා ජාතික ගුරුවරියක් සහ මැලේසියානු ජාතිකයෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පළමු සිද්ධියේදී කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි 54 හැවිරිදි ඇංගෝලා ජාතික ගුරුවරියක් රෝද පුටුවක ආධාරයෙන් ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සාහ කර තිබේ. ඇය තමන් HIV ආසාදිතයෙකු බව පවසමින් රේගු නිලධාරීන්ගෙන් ගැලවීමට උත්සාහ කළද, පරීක්ෂණවලදී ඇය සිරුර තුළ රුපියල් කෝටි 14ක් වටිනා කොකේන් ගුළි 50කට අධික ප්‍රමාණයක් සඟවාගෙන පැමිණි බව අනාවරණය විය. ඇය මීගමුව මහ රෝහලට ඇතුළත් කර වෛද්‍ය ප්‍රතිකාර මගින් එම මත්ද්‍රව්‍ය ගුළි ඉවත් කරමින් පවතී.
දෙවන සිද්ධියේදී ඩුබායි සිට පැමිණි 23 හැවිරිදි මැලේසියානු ජාතික ආපනශාලා සේවකයෙක් ගමන් මල්ලේ සූක්ෂ්ම ලෙස සඟවාගෙන පැමිණි රුපියල් නව කෝටි අට ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනිණි. ඔහු චොකලට් ටොෆී භාජන 3ක් තුළ කරල් 92ක් ලෙස සකස් කළ කොකේන් කිලෝවක් සහ ග්‍රෑම් 816ක් සඟවාගෙන “හරිත මාවත” (Green Channel) ඔස්සේ වංචනික ලෙස පිටවීමට උත්සාහ කර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ අදාළ මත්ද්‍රව්‍ය තොග ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇත.














