ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අය-වැයෙන් විශේෂ ප්‍රතිපාදන වෙන් කිරීම සහ එම ප්‍රජාවට අවශ්‍ය ප්‍රවේශ පහසුකම් වැඩි කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ආබාධ සහිත ප්‍රජාව සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ ආබාධිත සිවිල් ප්‍රජාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය කෘතවේදීත්වය පළ කර තිබේ.
ප්‍රමුඛ ක්ෂේත්‍ර 6ක් ඔස්සේ සකස් කළ අය-වැය යෝජනාවලියක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාරදීම පසුගියදා සිදු කෙරිණි. ආබාධ සහිත ප්‍රජාව සමාජයේ සම කොටස්කරුවන් බවට පත්කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ සහ නියෝග කඩිනමින් නිකුත් කිරීමටත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් රජය පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා මෙහිදී සහතික විය.
‘එක්ව අත්නොහැර’ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුගත වන පරිදි අය-වැය යෝජනා සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය. සංචාරක කර්මාන්තය තුළ ආබාධ සහිත පුද්ගලයන්ගේ සහභාගීත්වය වැඩි කිරීම සහ ප්‍රවේශ පහසුකම් පුළුල් කිරීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
සාම්ප්‍රදායික පුහුණු ක්‍රමවේදවලින් ඔබ්බට ගොස්, විවෘත රැකියා වෙළෙඳපොළ තුළ ආබාධ සහිත ප්‍රජාවට ගැලපෙන අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කරන ලදී.














