90 හැවිරිදි වියෙහි පසුවන දලයි ලාමා තුමන් සිය වම් දණහිසෙහි පවතින සෞඛ්‍ය ගැටලුවක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම උදෙසා මෙම මස නවදිල්ලි නුවරට පැමිණීමට නියමිත බව එතුමන්ගේ කාර්යාලය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.
ටිබෙට් බුද්ධාගමේ ආධ්‍යාත්මික නායකයා එතුමන්ගේ නිවහන වන ධර්මශාලාවේ සිට සිකුරාදා ඉන්දීය අගනුවර වෙත ගමන් කිරීමට නියමිතය. එතුමන්ගේ කාර්යාලය විසින් ‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත්තේ, මෙම වෛද්‍ය ප්‍රතිකාරවලින් අනතුරුව ජූනි මස අවසානය වන විට ඉන්දියාවේ ලඩාක් කලාපය වෙත ගොස් දීර්ඝ කාලයක් රැඳී සිටීමට අපේක්ෂා කරන බවයි. දලයි ලාමා තුමන් 2024 වසරේදී ද නිව්යෝර්ක් නුවරදී එම දණහිස සඳහාම ශල්‍යකර්මයකට භාජනය විය. වර්තමානය වන විට එතුමන් සිය පරිශ්‍රය තුළ වැඩි දුරක් ගමන් කිරීම සඳහා ගොල්ෆ් කරත්තයක් (golf cart) භාවිතා කරයි. පසුගිය වසරේදී දලයි ලාමා තුමන් සඳහන් කර තිබුණේ තමන් වසර 130කට වඩා වැඩි කාලයක් ජීවත් වීමට බලාපොරොත්තු වන බවත්, තම මරණයෙන් පසු නැවත උපත ලබන බවත්ය.
















