අඟහරු ග්‍රහයාගේ වායුගෝලය සහ එහි පරිණාමය නිරීක්ෂණය කිරීම සඳහා දියත් කළ නාසා ආයතනයේ MAVEN (Mars Atmosphere and Volatile Evolution) මෙහෙයුම වසර 11කට අධික කාලයකට පසු නිල වශයෙන් අවසන් කර ඇත. 2013 නොවැම්බර් මාසයේදී දියත් කරන ලද මෙම මෙහෙයුම, එහි වසරක මූලික කාලසීමාවට වඩා දශකයක් පුරා අඟහරු කක්ෂයේ රැඳී සිටිමින් අඟහරුගේ ඉහළ වායුගෝලය සහ අයනගෝලය පිළිබඳ වැදගත් දත්ත රැස් කළේය.
පසුගිය දෙසැම්බර් 6 වන දින අඟහරු ග්‍රහයා පිටුපසින් ගමන් කිරීමෙන් අනතුරුව MAVEN යානයෙන් ලැබුණු සංඥා හදිසියේම විසන්ධි විය. සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ අනේාමලි සමාලෝචන මණ්ඩලය (anomaly review board) තීරණය කර ඇත්තේ MAVEN යානය නැවත ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක පවතින බවයි. යානය අඟහරු පිටුපසින් මතුවන විට අසාමාන්‍ය ලෙස ඉහළ වේගයකින් භ්‍රමණය වීම හේතුවෙන් එහි බැටරි විසර්ජනය වී සන්නිවේදන පද්ධතියේ බලය අහිමි වී ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව නාසා ආයතනය MAVEN මෙහෙයුම නිල වශයෙන් අත්හිටුවීමට (decommissioning) පියවර ගෙන ඇත.
සූර්ය කුණාටු සහ සූර්ය සුළං හේතුවෙන් අඟහරුගේ වායුගෝලය ඛාදනය වීම සහ එමඟින් අඟහරුගේ දේශගුණය වෙනස් වූ ආකාරය අධ්‍යයනය කිරීමට මෙම මෙහෙයුම විශාල දායකත්වයක් ලබා දුන්නේය. අඟහරු මත විවිධ වර්ගයේ අරෝරා (auroras) ඇතිවීම පිළිබඳව සහ අඟහරුගේ වායුගෝලය අභ්‍යවකාශයට මුසු වන ‘atmospheric sputtering’ ක්‍රියාවලිය පිළිබඳව පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහලෝකයකදී පළමු වරට මැන ගැනීමට MAVEN සමත් විය. අඟහරු මත ඇති වූ ගෝලීය දූවිලි කුණාටු නිසා ජලය අභ්‍යවකාශයට පිටවීමේ සිදුවීම් පිළිබඳව ද මෙහෙයුම තොරතුරු අනාවරණය කළේය. මීට අමතරව, අඟහරු මත ඇති රෝවර (rovers) වල දත්ත පෘථිවියට යොමු කරන ප්‍රධාන සන්නිවේදන ජාලයක ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස MAVEN කටයුතු කළේය. අනාගතයේදී මිනිසුන් අඟහරු වෙත යැවීමට පෙර අවශ්‍ය වන ආරක්ෂක පියවර සහ විකිරණ ආරක්ෂාව සම්බන්ධයෙන් MAVEN මෙහෙයුම ලබා දුන් දත්ත අතිශය වැදගත් වන බව නාසා ආයතනය අවධාරණය කරයි.
















