මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වූ දඹුල්ල මූලික රෝහල, එහි සංවර්ධන කටයුතු සහ ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ‘A’ ශ්‍රේණියේ මූලික රෝහලක් වන මෙය මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට අයත් 230,000කට අධික ජනතාවකට සෞඛ්‍ය සේවා සපයන ප්‍රධාන මධ්‍යස්ථානයකි.
දඹුල්ල සංවර්ධන මාස්ටර් ප්ලෑන් (2022–2032) වැඩපිළිවෙළට අනුව, දැනට පවතින රෝහල් භූමියේ ඉඩකඩ සීමිත වීම හේතුවෙන් රෝහල නව ස්ථානයක ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත. මේ සඳහා දැනටමත් අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති අතර, සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 5ක පමණ පිරිවැයක් ඇස්තමේන්තු කර තිබේ. මෙම දැවැන්ත මූල්‍ය පිරිවැය දැරීමට මධ්‍යම පළාත් සභාවට අපහසු වීම හේතුවෙන් රෝහල මධ්‍යම රජයට පවරා දීමට පළාත් ආණ්ඩුකාරවරයා සිය එකඟතාව පළ කර ඇත.
නව ස්ථානයේ රෝහල ඉදි කිරීමත් සමඟ මහජනතාවට වඩාත් ගුණාත්මක සහ නවීන පහසුකම් සහිත විශේෂඥ වෛද්‍ය සේවාවන් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. එමෙන්ම රෝහල පවත්වාගෙන ගිය පැරණි භූමිය දඹුල්ල නගරයේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ද සැලසුම් කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය අනුමැතිය ලබා දීමත් සමඟ මෙම සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














