චීන ගුවන් නියමුවන්ට පුහුණුව ලබා දීම මගින් ඇමෙරිකානු අවි පාලන නීති උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ඇමෙරිකානු නාවික හමුදා නියමුවෙකු වන ඩැනියෙල් දුග්ගන් (Daniel Duggan) ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය එරට ෆෙඩරල් අධිකරණය විසින් බ්‍රහස්පතින්දා ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි දුග්ගන් 2022 වසරේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඇමෙරිකානු රජය කළ ඉල්ලීමකට අනුවය. ඔහුට එරෙහිව ඇමෙරිකාව තුළ චෝදනා හතරක් ගොනු කර ඇති අතර, 2014 වසරේ සිට චීනයේ පදිංචිව සිටි ඔහු එහිදී නීතිවිරෝධී ලෙස යුධ ගුවන් නියමුවන්ට පුහුණුව ලබා දුන් බවට චෝදනා එල්ල වේ. මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් සිය දැඩි කලකිරීම පළ කළ ඔහුගේ බිරිඳ, දුග්ගන් නිර්දෝෂී බවත් ඔහුට එරෙහිව දේශපාලනික අරමුණක් මත චෝදනා එල්ල වන බවත් ප්‍රකාශ කළාය. අධිකරණ තීන්දුවට අනුව දැන් ඔහු ඇමෙරිකාවට පිටුවහල් කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් වී තිබේ.














