ගල් අඟුරු හිඟය සහ බලශක්ති අර්බුදය මධ්‍යයේ විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙස මුදාහැරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පානීය ජල සැපයුමට බරපතල බලපෑම් එල්ල වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.
නාගමුව මහතා පෙන්වා දෙන්නේ පසුගිය මාර්තු 24 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි. බාල ගල් අඟුරු ආනයනය කිරීම නිසා නොරොච්චෝල බලාගාරයේ උත්පාදන ධාරිතාව පහත වැටීම මීට ප්‍රධාන හේතුව වී ඇති බව ඔහු චෝදනා කරයි.
වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 422ක සීමාවක පවත්වා ගත යුතු වුවද, විදුලිය නිපදවීම සඳහා ජලය මුදාහැරීම නිසා එය වේගයෙන් පහත බැස ඇත. ජල මට්ටම පහත වැටීම නිසා බලගොල්ල පොම්පාගාරය අක්‍රීය වී ඇති අතර, මේ හේතුවෙන් බලගොල්ල, කුණ්ඩසාලය සහ දිගන ප්‍රදේශවල පාරිභෝගිකයින් 17,000කට පමණ පානීය ජලය අහිමි වී තිබේ.
ජල හිඟය හේතුවෙන් පල්ලෙකැලේ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා කිහිපයක් ද තාවකාලිකව වසා දමා ඇති අතර, ඉදිරි වියළි කාලගුණයත් සමඟ වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටබේ ජලාශවල ජලය මෙලෙස අවසන් කිරීමෙන් මිනිපේ සහ මහවැලි ‘එච්’ කලාපයේ ගොවීන්ට වගා කටයුතු සඳහා ජලය හිඟ වනු ඇතැයි නාගමුව මහතා අනතුරු අඟවයි. රජය පවසන්නේ මෙමගින් රුපියල් මිලියන 7260ක මුදලක් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරන බව වුවත්, පානීය ජලය සහ කෘෂිකර්මාන්තය අනතුරේ හෙළා මෙවැනි තීරණ ගැනීම අමනෝඥ ක්‍රියාවක් බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.














