වත්මන් අගවිනිසුරු ගරු ප්‍රීති පද්මන් සූරසේනට එරෙහිව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් ගෙන ඇති හෝ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දයාසිරි ජයසේකර කථානායකවරයාගෙන් ඉල්ලා සිටී. කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදු කර ඇති අතර, මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් සභා ගර්භය තුළදී අගවිනිසුරු සම්බන්ධයෙන් මතු කළ කරුණු කිහිපයක්ද ඔහු සිය ලිපිය මඟින් පෙන්වා දෙයි.
එම ලිපියෙහි සඳහන් චෝදනා කිසිවක් සත්‍ය බවට තමන් පූර්ව නිගමනයකට එළඹෙන්නේ නැති බවත්, ඒවා පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්න ලෙස පමණක් සලකන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත. එම චෝදනා සත්‍ය නම් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, අසත්‍ය නම් අගවිනිසුරුතුමාගේ කීර්තිනාමය ආරක්ෂා කිරීම සඳහා සත්‍ය තත්ත්වය හෙළි කළ යුතු බවද ඔහු අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
















