හොරකම සහ වංචාව සහමුලින්ම නැති කරන බව පවසමින් බලයට පැමිණි වත්මන් පාලකයන් අද දවසේ සිදුකරන ක්‍රියාවලීන්ට අනාගතයේදී අනිවාර්යයෙන්ම වගකීමට සහ උත්තර දීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.
මහනුවර පැවැති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, හොරකම දූෂණය නතර කිරීමට පැමිණි ආණ්ඩුවද පසුගිය කාල සීමාව තුළ කන්ටේනර් මුදා හැරීම්, ගල්අඟුරු ගනුදෙනු සහ හිතුමනාපයට ඉහළ මිල ගණන්වලට තෙල් මිලදී ගැනීම් වැනි වංචනික ක්‍රියාවල නිරත වී ඇති බවයි. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටුණද එහි සහනය ජනතාවට ලබා නොදෙන වත්මන් රජය, තවත් සති කිහිපයකින් නැවතත් මෙරට ඉන්ධන මිල සහ විදුලි බිල ඉහළ දැමීමට සූදානමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.
රටේ දැවැන්ත බදු ආදායම් ලබන සමාගම් කොටස්වලට කඩා විකිණීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වන බවත්, දැනට සිදුවන අත්අඩංගුවට ගැනීම් හුදෙක් භෞතික හොරකම්වලට පමණක් සීමා වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ, හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේගේ පරිගණක මුරපද (Passwords) ඉල්ලා සිටීම හරහා රටේ යුද රහස් සහ අනාගත බුද්ධි තොරතුරු ජාත්‍යන්තරයට විවෘත කිරීමේ බරපතළ අවදානමක් මතුව ඇති බවයි.
















