බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) පවතින අධික මගී තදබදයට තිරසාර විසඳුම් ලබාදෙමින්, එහි මගී හැසිරවීමේ වාර්ෂික ධාරිතාව තවත් මිලියන 5කින් ඉහළ නැංවීම සඳහා වන විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පළමු මගී පර්යන්තය පුළුල් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ පිටත්වීමේ පර්යන්තයේ (Departure Terminal) තදබදය අවම කිරීම සඳහා වර්ග මීටර් 1,700ක අමතර ඉඩකඩක් එක් කෙරෙන අතර, රුපියල් බිලියන 6.7ක ආයෝජනයකින් සිදුකෙරෙන පිටත්වීමේ ලොබිය පුළුල් කිරීමේ කටයුතු 2027 මාර්තු වන විට අවසන් කිරීමට නියමිතය. මීට අමතරව රුපියල් බිලියන 6ක වියදමින් මගී ලියාපදිංචි කිරීමේ කවුළු (Check-in Counters) සංඛ්‍යාව 60 සිට 74 දක්වා වැඩි කිරීමටත්, නව දුරස්ථ ගුවන්යානා ඇතුළු වීමේ ද්වාර (Remote Boarding Gates) 6ක් ස්ථාපිත කිරීමටත් පියවර ගැනේ.
පැමිණීමේ පර්යන්තයේ (Arrival Terminal) දැනට පවතින ආගමන විගමන කවුළු සංඛ්‍යාව 28 සිට 40 දක්වා ඉහළ නැංවෙන අතර, මෙරට ගුවන්තොටුපොළ ඉතිහාසයේ ප්‍රථම වරට මගීන් වෙනුවෙන් විද්‍යුත් ද්වාර (e-Gates) 4ක් ද අලුතින් එක් කිරීමට නියමිතය. වර්ග මීටර් 625ක නව තීරුබදු රහිත (Duty Free) සාප්පු සංකීර්ණයක් සහ සංක්‍රමණික මගී පහසුකම් (Transit Area) පුළුල් කිරීම ද මීට ඇතුළත් වේ. මෙම සමස්ත සංවර්ධන ව්‍යාපෘතියේ විවිධ අදියරයන් 2026 වසරේ මැද භාගයේ සිට 2027 අගෝස්තු දක්වා කාලය තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇත.
















