දකුණු දිග ස්පාඤ්ඤයේ හටගෙන ඇති දැඩි ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 19 දෙනෙකු අතුරුදන්ව ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ඇන්ඩලූසියා (Andalusia) කලාපීය නායක හුවාන්මා මොරේනෝ උපුටා දක්වමින් මෙම පුවත වාර්තා කර ඇති අතර, මියගිය පිරිස අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් සිව්දෙනෙකු ද වන බවට ප්‍රාදේශීය බලධාරීන් විසින් මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ. විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් ඇල්මේරියා (Almeria) හි ලොස් ගැලීඩෝස් අවට වනාන්තර කලාපයක මෙම ගින්න හටගෙන ඇති අතර, එය පාලනය කිරීම සඳහා මේ වන විට සිය ගණනක ගිනි නිවන භටයින් පිරිසක් දැඩි උත්සාහයක නිරතව සිටිති.
මේ දිනවල දකුණු යුරෝපය පුරා උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ යමින් පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ස්පාඤ්ඤය, ප්‍රංශය සහ පෘතුගාලය පුරා මෙලෙස දරුණු ලැව්ගිනි හටගනිමින් පවතී. මෙම තත්ත්වය හේතුවෙන් ගිනි නිවන භටයින් දැඩි වෙහෙසක් ගන්නා අතර, උද්ගතව ඇති අවදානම නිසා පුද්ගලයින් දහස් ගණනකට සිය නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන කරා යාමට සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
















