බස්නාහිර පළාතේ මදුරු කීට ඝනත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් ඉදිරි සති දෙක ඩෙංගු ව්‍යාප්තිය අතින් අතිශය අවදානම් සහගත වනු ඇතැයි ඩෙංගු කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි. දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ පවතින තත්ත්වය 2017 වසරේ පැවති දරුණු ඩෙංගු වසංගතයටත් වඩා බරපතළ විය හැකි බවයි. රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා බස්නාහිර පළාතේ රෝහල් ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති අතර, ඇතැම් රෝහල්වල එකම ඇඳෙහි රෝගීන් දෙතුන් දෙනා බැගින් රඳවා ප්‍රතිකාර කිරීමට සිදුව තිබේ.
මේ වන විට දිවයිනෙන් සමස්ත ඩෙංගු රෝගීන් 66,064ක් සහ මරණ 46ක් වාර්තා වී ඇති අතර, ජූලි මාසයේ ගතවූ දින 9 තුළ පමණක් රෝගීන් 10,685 දෙනෙකු හඳුනාගෙන ඇත. ඊයේ (09) දිනයේ පමණක් අලුතින් වාර්තා වූ රෝගීන් ගණන 1,030කි. සමස්ත රෝගීන්ගෙන් 52.7%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, මෙතෙක් වැඩිම අවදානමක් පැවති කොළඹ දිස්ත්‍රික්කය ද අභිබවා යමින් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවීගේ මහත්මිය පෙන්වා දෙන්නේ විදේශයන්හි භාවිත කරන ඩෙංගු එන්නත් ලංකාවට හඳුන්වා දුන්න ද, එයින් වසංගත තත්ත්වය ක්ෂණිකව අඩු කළ නොහැකි බවයි. පවතින අවදානම හමුවේ ත්‍රිවිධ හමුදාවේ ද සහභාගීත්වයෙන් රට පුරා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.
















