27 April 2024
#දේශීය #පුවත්

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය අත්හිටුවීමට තීරණයක්

ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කල බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.

ඊයේ (12) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල ගැසට් නිවේදනය සම්බන්ධව තම විරුද්ධත්වය පළ කළේය.

විශේෂයෙන් මෙම කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය සඳහා ආනයනයට අවසර දීම මගින් දේශීය කුළුබඩු ගොවියා අධෛර්මත්වන බවත්, එමනිසා දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව කඩා වැටෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම දැනට ලෝකයේ හොඳම කුළුබඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුළුබඩු වල ප්‍රමිතිය සඳහා මෙමගින් ප්‍රබල බලපෑමක් එල්ල වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම කරුණු සැළකිල්ලට ගත් ගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අදාල ගැසට් නිවේදනය අත් හිටුවීමටත්, ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු මෙරටට ආනයනය කිරීම අත් හිටුවීමටත් තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එමෙන්ම දේශීය කුළුබඩුවල ප්‍රමිතිය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා දීර්ඝ අධ්‍යයනයක් සිදු කිරීමටත්, දේශීය කුළුබඩු වැවිලි බෝගයන් ලෙස තවදුරටත් නැංවීම සඳහා රජය මගින් ඉටු කළ යුතු කාර්ය බාරය සම්බන්ධවත් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන ලද බව ද අමාත්‍යවරයා සඳහන් කළේය

Leave a comment

Your email address will not be published. Required fields are marked *