27 April 2024
#පුවත් #සංවර්ධන

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමට ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේත්

කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමට ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම වසරේත් ප්‍රධාන විෂය කේෂ්ත්‍ර 4ක් යටතේ වාර්ෂික ව්‍යාපෘති 24ක් ක්‍රියාත්මක කරනු ලබන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව පවසන්නේ ඒ යටතේ ඇළ මාර්ග, වැව් සහ ඇවිදින මංතීරු නඩත්තු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, ගංවතුර පාලනය, තෙත්බිම් සහ පහත්බිම් සංවර්ධනය, නිර්මාණ කටයුතු, සිතියම්කරණය සහ ශඛ්‍යතා අධ්‍යයනය කිරීම සිදුකරන බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ කොළඹ නගරයේ හා ඒ ආසන්නයේ පවතින බොහෝ වැව් හා ඇළ මාර්ගවල ජපන් ජබර වැනි ආක්‍රමණශීලි වල් පැළැටි සහ දුගඳ හමන, රොන් මඩ, ප්ලාස්ටික් බෝතල්, බියර් කෑන්, සෙරෙප්පු, සනීපාරක්ෂක ද්‍රව්‍ය, අප ජලය හා තෙල් වර්ග ආදියෙන් පිරී පවතින බවයි. ඉතා සුළු වර්ෂා තත්ත්වයකදී වුවද කොළඹ නගරයේ ප්‍රධාන මං මාවත් වතුරෙන් යටවීමට ප්‍රධානම හේතුව එය බව අමාත්‍යවරයා පවසයි.

කොළඹ නගර කලාපයේ හා ඒ අවට පිහිටි ප්‍රධාන ඇල මාර්ග පද්ධතිය කිලෝමීටර 44කින් සමන්විත වේ. ද්විතීක ඇළමාර්ග දිග කිලෝමීටර 52න් සමන්විත වේ. මෙම ඇළ මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කඩිනම් කර ති‍බේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම ඇළ මාර්ග හා වැව් ආශ්‍රිතව ඇවිදින මංතීරු නඩත්තු කිරීම, සෝලා ලයිට් සවිකිරීම හා වාහන නැවතුම් අංගන නඩත්තු කිරීමද සිදුකරන බවයි. එමෙන්ම දියත උයන, ජපන් මිත්‍රත්ව පාර, කිඹුලාවල, මාලඹේ, බෙල්ලන්විල, නුගේගොඩ තෙත්බිම් උද්‍යානය, බොරලැස්ගමුව කෙළිමඩල යන ප්‍රදේශවල වැව්, පොකුණු පොදු ස්ථාන සහ ඇවිදින මංතීරු නඩත්තු කිරීමද සිදුකෙරේ.

එමෙන්ම දිගු කාලීන තිරසරභාවය සඳහා ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය යටතේ කළු ඔය වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීම, වේරස් ගඟ වැසි ජල අපවහන හා අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය, ඔලියමුල්ල වැසි ජල අපවහන හා අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

කළු ඔය වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කිලෝමීටර 70ක ඇළ මාර්ග පද්ධතියක් සංවර්ධනය කෙරේ. කළු ඔය හා මුදුන් ඇළ ද්‍රෝණියේ ගංවතුර හානිය අවම කිරීම, වැසි ජල කාණු පද්ධතිය වැඩිදියුණු කිරීම සහ ගංවතුරෙන් තොර පරිසරයක් නිර්මාණය කිරීමට නියමිතය.

එමෙන්ම වේරස් ගඟ වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ සම්පූර්ණ දිග කිලෝමීටර 55.5ක් වේ. නුගේගොඩ රත්නපිටිය ඇළ, දෙල්කඳ ඇළ, බොරලැස්ගමුව උතුර, බොරලැස්ගමුව දකුණ, මහ ඇළ සහ වේරැස් ගඟ ලෙස කලාප 5කට බෙදා ඇත. සම්පූර්ණ ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 11,05.00කි.

ඔලියමුල්ල වැසි ජල අපවහන හා අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ වත්තල සහ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර අවම කිරීම සිදුකෙරේ. මෙහි ජල පෝෂක ප්‍රමාණය කිලෝමීටර 17කි. සපුගස්කන්ද, හුණුපිටිය,බොල්ලෑගල සහ පෑලියගොඩ මෙම ජල පෝෂක සඳහා තෝරාගත් මායිම් වේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පවසන්නේ ගංවතුර පාලනය කොට කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශ පිරිසිදුව හා අලංකාරව තබා ගැනීමට නම් මෙම ඇළ මාර්ග හා වැව් නිරන්තරයෙන්ම පිරිසිදු කළ යුතු බවත් ඒ සඳහා සාමාන්‍ය පොදු මහජනයාගේ සහය උපරිමයෙන්ම අපේක්ෂා කරන බවත්ය.

මෙම වැව් හා ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒවායේ මුල් පිහිටීමට හානි නොකරන ලෙස හා ඒවායේ ජීවත්වන ජලජ ජීවීන්ට ආරක්ෂාව සළසන පරිසර හිතකාමී ශාක ඉවත් නොකර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලෙසද අමාත්‍යවරයා බළධාරීන්ට උපදෙස් දී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *