ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ සහ උතුරු මැද නාවික විධානයන් විසින් භාවිත කරනු ලබන ඉඩම් නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා මන්නාරම් දිස්ත්‍රික්කයේ විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. මන්නාරම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මෙන්ම වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීස්වරන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටියහ.
සංචාරය අතරතුර, රට තුළ ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා මන්නාරම් දිස්ත්‍රික්කය තුළ නාවික හමුදාව දක්වන සක්‍රිය දායකත්වය, මුහුදු සීමාවන් සහ වෙරළබඩ ආරක්ෂාව ශක්තිමත් කිරීම මෙන්ම නීති විරෝධී කටයුතු මැඬපැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පුළුල් සමාලෝචනයක නිරත විය. අදාළ නාවික ප්‍රදේශ භාර ආඥාපතිවරුන් විසින් දැනට සිදු කරන මෙහෙයුම්වල ප්‍රගතිය පැහැදිලි කිරීමෙන් අනතුරුව, නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ එම විශිෂ්ට කාර්යභාරය අගය කරමින් මෙහෙයුම්වල ඵලදායිතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට ද පියවර ගත්තේය.
ඉන් අනතුරුව, මන්නාරම් දිස්ත්‍රික්කයේ මුල්ලික්කුලම්, සිලාවතුර, තලෙයිමන්නාරම, වන්කාලපාඩුව සහ පල්ලිමුනෙයි යන ප්‍රදේශවල නාවික හමුදාව දැනට භාවිත කරන ඉඩම් නිරීක්‍ෂණය කළ නියෝජ්‍ය ඇමැතිවරයා, එහිදී ප්‍රදේශවාසීන් සමඟ ද සුහදව අදහස් හුවමාරු කරගත්තේය. එහිදී ජනතාව මුහුණ දෙන නිවාස ගැටලු, ප්‍රජාව මුහුණ දෙන අභියෝග, සුභසාධන අවශ්‍යතා සහ විශේෂයෙන්ම ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ ඒ මහතා, අදාළ රාජ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධීකරණය වෙමින් එම ගැටලු විසඳීම සඳහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග හඳුන්වා දීමට ද කටයුතු කළේය.














