දෙහිවල සැන්ඩ්රෝ නමැති සංවිධානාත්මක අපරාධකරුවකුගේ පියාට දෙහිවල නිසල උයන සුසාන භූමියේදී වෙඩි තබා බරපතල තුවාල සිදු කළ වෙඩික්කරු සහ කාන්තාවක් බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර මිහින්තලේ අඹතලාගම ප්රදේශයේ පදිංචි විශේෂ කාර්යාංශයේ හිටපු හමුදා සෙබළකු (44) සහ ඔහුගේ අනියම් බිරිය (35) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩි තැබීමට භාවිතා කළ ගිනි අවිය සඟවාගෙන ආ අත් බෑගය සහ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් මස 19 වන දින සොහොන් කොතකට පහන් දැල්වීමේ මුවාවෙන් සුසාන භූමියට පැමිණි මෙම වෙඩික්කරු, මුරකරු ලෙස කටයුතු කළ සැන්ඩ්රෝගේ පියාට වෙඩි ප්රහාර දෙකක් එල්ල කර පලා ගොස් තිබූ අතර, බරපතල තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.













