චීන මෝටර් රථ නිෂ්පාදකයින්ට අමෙරිකානු වෙළඳපොළට පිවිසීමට ඇති අවස්ථාවන් අවහිර කරන ලෙස ඉල්ලමින් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පාක්ෂික මන්ත්‍රීවරුන් 74 දෙනෙකු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
අමෙරිකානු සේවක අයිතිවාසිකම්, දේශීය ව්‍යාපාර සහ නිෂ්පාදන ක්ෂේත්‍රය මෙන්ම ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන පිළිබඳව මෙහිදී මන්ත්‍රීවරුන් සිය දැඩි අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම මැයි මස මැද භාගයේදී බීජිං නුවරදී ජනාධිපති ට්‍රම්ප් සහ චීන නායක ෂී ජින්පිං අතර පැවැත්වීමට නියමිත තීරණාත්මක හමුවට පෙර මෙම ලිපිය යොමු කිරීම සුවිශේෂී වේ.
චීන රජය විසින් සිය මෝටර් රථ නිෂ්පාදකයින්ට අධික ලෙස සහනාධාර ලබා දීම සහ සූරාකෑමේ ශ්‍රම තත්ත්වයන් යටතේ නිෂ්පාදන සිදු කිරීම හේතුවෙන් ගෝලීය තරඟකාරිත්වය විකෘති වන බව මන්ත්‍රීවරුන් පෙන්වා දෙයි. මෙය අමෙරිකානු ආර්ථිකයේ මුල්ගලක් බඳු වූ, රැකියා මිලියන 10කට පමණ ජීවනෝපාය සලසන දේශීය මෝටර් රථ කර්මාන්තයට සෘජු තර්ජනයක් බව ඔවුහු අවධාරණය කරති.
චීන මෝටර් රථ සඳහා පවතින වෙළඳ බාධක ලිහිල් නොකරන ලෙසත්, චීන සමාගම්වලට අමෙරිකාව තුළ කර්මාන්තශාලා ඉදිකිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් මෙම ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. මෙය කිසිසේත්ම සාකච්ඡා කළ නොහැකි ප්‍රමුඛතාවයක් විය යුතු බවද මන්ත්‍රීවරුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.














