දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මර්දන සතියේ තෙවන දිනය අදට යෙදී ඇති අතර, රෝගී සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක මෙම මදුරු මර්දන වැඩසටහන ඔස්සේ අද දිනයේදී දිවයින පුරා පිහිටි පොදු ස්ථාන පවිත්‍ර කිරීමේ සහ මදුරු අභිජනන ස්ථාන විනාශ කිරීමේ දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙමින් පවතී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව, මීට පෙර හඳුනාගෙන තිබූ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 74 සිට 84 දක්වා ඉහළ යාම මෙරට මහජන සෞඛ්‍ය අර්බුදයක පෙරනිමිති පළ කරමින් පවතී. විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් රෝගය සීඝ්‍රයෙන් පැතිර යාම ආර්ථික හා සමාජීය වශයෙන් බලපෑම් ඇති කළ හැකි තත්ත්වයක් උද්ගත කර තිබේ.
මෙම අභියෝගාත්මක වටපිටාව තුළ, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතනවල මෙන්ම පොදු මහජනතාවගේ වගකීම සහ සහභාගීත්වය අතිශයින් වැදගත් වේ. ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කරමින් මෙවැනි මැදිහත්වීම් සිදු කළ ද, දීර්ඝකාලීන විසඳුම් උදෙසා පාරිසරික පවිත්‍රතාව පවත්වා ගැනීම සහ නිසි කළමනාකරණ පද්ධතියක් තුළ කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන අතර, එසේ නොවුණහොත් ඉදිරි සති කිහිපය තුළ සෞඛ්‍ය පද්ධතිය මත දැඩි පීඩනයක් එල්ල වීමේ අවදානමක් පවතී.
















