ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල වර්තමාන තත්ත්වය සමාලෝචනය කිරීම සහ මදුරු මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා වූ විශේෂ රැස්වීමක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ශ්‍රවණාගාරයේදී අගෝස්තු 05 වන දින පැවැත්විණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, සම්පූර්ණයෙන්ම ඩෙංගු තුරන් කිරීම සඳහා ඉදිරි වසර දෙක තුළ ඉලක්කගත හා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි. අඩු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන කාලසීමාව තුළ මදුරු මර්දන කටයුතු තවත් ශක්තිමත් කළ යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ග්‍රාම නිලධාරී වසම් දක්වාම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ, මීට පෙර දිනකට 1,300ක් පමණ වාර්තා වූ ඩෙංගු රෝගීන් ප්‍රමාණය මේ වන විට දිනකට 350 – 400 දක්වා අඩුවී ඇති නමුත්, ඉදිරියේදී පවතින වැසි තත්ත්වයන් සහ දේශගුණික විපර්යාස සැලකිල්ලට ගනිමින් මදුරු මර්දන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වී සිටියහ.














