පුරා දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පොලිස් සේවයේ අභිමානය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටු කළ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති දේව ගාමිණී සමන්ත ද සිල්වා මහතා එළඹෙන අගෝස්තු මස 30 වන දින ගෞරවනීය ලෙස පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිතව තිබේ. ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස 1986 වසරේදී පොලිස් මාතාවට එක්වූ ඒ මහතා, උතුරු-නැගෙනහිර බිහිසුණු ත්‍රස්තවාදී යුද සමයේ විශේෂ කාර්ය බලකායේ සංග්‍රාමීය කැලෑ සටන්වලට සහභාගී වෙමින් මෙන්ම රාජකාරියේ නිරතව සිටියදී බිම් බෝම්බ ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබුවද, කිසිදු විටෙක පසුබබා නොගොස් රටේ සාමය තහවුරු කිරීම වෙනුවෙන් තම ජීවිතයම කැප කළ උදාර නායකයෙක් ලෙස ජාතික ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබා ඇත.
සිය දිවියේ වැඩි කාලයක් පොලිස් විශේෂ කාර්ය බලකාය, ඇමති ආරක්ෂක අංශය සහ ප්‍රධාන දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස විවිධ වගකීම් හමුවේ විශිෂ්ඨ සේවයක් ඉටු කළ ඒ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු ලෙස බුද්ධිමය පෞරුෂයකින්ද හෙබි නිලධාරියෙකි. මඩකලපුව සහ කිලිනොච්චිය වැනි සංවේදී ප්‍රදේශවල රාජකාරී කරමින් ජනතා ප්‍රසාදය දිනාගත් ඔහු, එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකාය නියෝජනය කරමින් නැගෙනහිර ටිමෝර් රාජ්‍යයේදීද ශ්‍රී ලංකා පොලීසියේ කීර්ති නාමය ජාත්‍යන්තරය වෙත රැගෙන යාමට සමත් විය. සිය වෘත්තීය දිවිය තුළ දැක්වූ අසමසම දක්ෂතා වෙනුවෙන් විශේෂ පොලිස්පති ප්‍රශංසාවන් සහ සියලුම විශිෂ්ඨතා පදක්කම්වලින් පිදුම් ලැබූ ඒ මහතා, තම දැනුම හා අත්දැකීම් සහෝදර නිලධාරීන් අතර නොසඟවා බෙදාහදා ගනිමින් ආදර්ශවත් නායකත්වයක් ලබා දුන්නේය.
මෙම විශ්‍රාමයාම හමුවේ ශ්‍රී ලංකා පොලීසියට, විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකායට පූර්වාදර්ශී මෙන්ම දැඩි අඩුවක් දැනෙනු ඇති අතර, ආරක්ෂක අංශවල ඉදිරි පරම්පරාවට ඔහුගේ කැපවීම සහ විනය මනා මඟපෙන්වීමක් වනු ඇත. ජාතික ආරක්ෂාවට තීරණාත්මක බලපෑමක් කළ මෙවැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ සේවය නිමවීම රටේ ආරක්ෂක යාන්ත්‍රණයට සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් වන අතර, පොලිස්පතිවරයා ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම උණුසුම් ප්‍රණාමය සහ සුබපැතුම් මධ්‍යයේ ඒ මහතා තම අභිමානවත් වෘත්තීය සමුගැනීමට සූදානම් වේ.
















