බිඳවැටීමකින් තොරව ස්ථාවරව ලාභ උපයන විදුලිබල ක්ෂේත්‍රයක් ඉතා කෙටි කලකින් රට තුළ නිර්මාණය කරන බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා විදුලිබල පනතට අදාළ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
වත්මන් රජය විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා පසුගිය මාර්තු 09 වැනිදා සිට රජය සතු සමාගම් හයක් ලෙස එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පෙර පැවති රජය මෙම ආයතනය කොටස් 12කට කඩා ඉන් සමාගම් 10ක අයිතිය පෞද්ගලික අංශයට පැවරීමට සැලසුම් කර තිබුණද, වත්මන් රජය එම සංඛ්‍යාව 6ක් දක්වා සීමා කර එම සියලුම සමාගම්වල පූර්ණ රාජ්‍ය අයිතිය සුරක්ෂිත කළ බව ඔහු අවධාරණය කළේය.මීට අමතරව, සේවකයන් සඳහා අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් වෙනුවට, ඔවුන්ගේ කැමැත්ත මත පදනම් වූ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට පියවර ගත් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















