රටේ යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ විපක්ෂය විසින් අධිකරණ, පොලිස් සහ බන්ධනාගාර පද්ධතියට විරුද්ධ වන්නේ සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බවත්, ඔවුන් සැබවින්ම කැමති වන්නේ නීතිය හෝ අධිකරණය ක්‍රියාත්මක නොවන රටකට බවත්ය.මහජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන නඩු ප්‍රමාදය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය: “අද රටේ මිනිසුන්ගේ නඩු කටයුතු අනවශ්‍ය ලෙස ඇදී යනවා. විශේෂයෙන් ඉඩම් නඩුවක් ගත්තොත් එය පරම්පරා ගණනාවක් තිස්සේ විභාග වෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් අධිකරණ සංඛ්‍යාව සහ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කළ යුතුයි. විනිසුරුවරුන් කියන්නේ ක්ෂණිකව නිර්මාණය කළ හැකි පිරිසක් නෙවෙයි. ඒ නිසා දැනට සිටින අත්දැකීම් සහ පලපුරුද්ද සහිත විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම කාලීන අවශ්‍යතාවයක්.”මීට පෙර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය රටේ අවශ්‍යතාවය මත දීර්ඝ කළා සේම, අධිකරණ ක්ෂේත්‍රයේ ද මෙම පියවර ගැනීම යුක්තිය අපේක්ෂා කරන ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු අත්‍යවශ්‍ය කාර්යයක් බව ද හංසක විජේමුණි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














