පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය මේ වන විට පාවෙන නගරයක් නොව “පාවෙන අපායක්” බවට පත්ව ඇති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. අද (15) දින බේරේ වැව ආශ්‍රිතව පිහිටි මෙම සංකීර්ණයේ පවතින තත්ත්වය සහ එහි ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂණයකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
පසුගිය පාලන සමයේ දේශපාලන තීන්දු මත ආරම්භක සැලැස්ම වෙනස් කිරීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති අතර, එය ජනතාවට සහ පරිසරයට දැඩි අහිතකර බලපෑමක් එල්ල කර තිබේ.
2014 වසරේ වෙළඳසැල් 92ක් සහිතව ආරම්භ වුවද, මේ වන විට ක්‍රියාත්මක වන්නේ වෙළඳසැල් 16ක් පමණක් බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.නිසි නඩත්තුවක් නොමැතිකමින් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් විනාශ වී ඇති අතර, දිරාපත් වූ යකඩ තහඩු සහ අත්වැටවල් හේතුවෙන් මහජනතාවට දැඩි අනාරක්ෂිත තත්ත්වයක් උද්ගතව ඇත.
විදුලි පද්ධති අක්‍රිය වීම නිසා රාත්‍රී කාලයට මෙම ස්ථානය විවිධ අපචාර සිදුවන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.හෙක්ටයාර් 65ක් පුරා විහිදී ඇති බේරේ වැව ආශ්‍රිතව පවතින සෞඛ්‍ය සහ පාරිසරික ප්‍රශ්න විසඳීම සඳහා තිරසර සැලසුම් සකස් කිරීමට ද අමාත්‍යවරයා මෙහිදී පියවර ගත්තේය.පවතින අනාරක්ෂිත තත්ත්වයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසත්, අබලි ද්‍රව්‍ය සහ කසළ බැහැර කිරීම විධිමත් කරන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එසේම, භාෂා ත්‍රිත්වයෙන්ම දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කර ආරක්ෂිත තත්ත්වය තහවුරු කරන ලෙස ද ඔහු වැඩිදුරටත් දැනුම් දුන්නේය.














