27 April 2024
#දේශීය

අභියෝග මැද්දේ වුවද රජය ජනතාවගේ අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය දෙනවා- ඇමැති ගාමිණි

කොවිඩ් අභියෝගය සහ විපක්ෂය විසින් හිතාමතා ඇතිකරන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් රජය ජනතාව වෙනුවෙන් සැලකිය යුතු සහනාධාර ප්‍රමාණයක් ලබාදීමේ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරමින් රටේ ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අදහස් දක්වමින්, “ පහුගිය කාලයේ ශ්‍රි ලංකාවේ ජනතාව විවිධ ප්‍රශ්න වලට මුහුණ දුන්නා. කොව්ඩි අර්බුදය නිසා ලෝක ආර්ථිකය අවපාතයට ගිය අතර එයට ශ්‍රි ලංකාවටත් මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා අපිට විදේශ විනිමය ඌනතාවයක් මතු වුණා. නමුත් මොන ප්‍රශ්නය පැමිණියත් රටේ ජනතාවට ඒවා අඩුවක් නැතිව ලබා දෙන්නයි අපි කටයුතු කළේ. සමහර භාණ්ඩවල සමහර අඩුවක් වුණා. නමුත් රජයක් හැටියට මේ දුෂ්කර අවස්ථාවේත් ජනතාවගේ අවශ්‍යතාවයන් සියල්ල ඉෂ්ට කළා. ඊයේ රජය තවදුරටත් කල්පනා කරලා මේ රටේ ලැබෙන ආදායමෙන් ජිවත් වෙන්න බැරි පිරිසට වැඩිවෙන ජිවන තත්වයන් එක්ක මුහුණ දෙන්න පුළුවන් පැකේජයක් අපි ලබලා දුන්නා. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයින්ට තමන්ගේ පඩියට අමතරව රුපියල් 5000 ක් ලැබෙන අතර සමෘද්ධි ලාභීන්ට සමෘද්ධි ආධාරවලට අමතරව රුපියල් 1000ක් ද විශ්‍රාමිකයින්ට රුපියල් 5000ක් ලබා දෙන්න කටයුතු කරනවා. මේ වගේ විශාල මුදලක් රටේ ජනතාවගේ දුෂ්කරතාවය මඟ හරවා ගන්න කටයුතු කරනවා. ඒ වගේම ගොවීන්ට ඔවුන්ගේ විවිධ කටයුතු සඳහා මුදලින් ආධාර ලබාදෙන්න විශාල වැඩපිළිවෙළක් ආරම්භ කරලා තිබෙනවා. මෙය ආරම්භ කරන කොට විපක්ෂය හිතුවා අපේ ආණ්ඩුව කඩා වැටෙයි කියලා. මොන දුෂ්කරතා තිබුණත් අපි ඒවට මුහුණ දෙන්න මේ රජය කටයුතු කරනවා.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් අපිත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ශක්තියක් තිබෙන ආණ්ඩුවක් හැටියට අපි කටයුතු කරගෙන යන්නේ. අපි මහජනයට යම්කිසි අපහසුවක් ඇතිවෙනවා නම් ඒක නිවැරදි කරන්න උදව් කරන්න අපි හැමවිටම කටයුතු කරනවා.

විශේෂයෙම මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමා පළමු කැබිනට් මණ්ඩලයෙන්ම විශාල සහනයක් ලබා දුන්නා. ඒ වගේම විශාල ප්‍රශ්නයක් වෙලා තිබුණු ගුරුවරුන්ගේ ප්‍රශ්නය. මේ මාසයේ ඉඳලා මේ වැඩිවෙච්ච පඩිය ගුරුවරුන්ට දිය යුතුයි කියලා තීන්දු කළා. ඒ වගේම ගුරු උපදේශකවරුන්ටත් ඒ පඩි වැඩි කිරීම් ලබා දෙන්න කටයුතු කළා. ඒ හින්දා අපි රටේ මහජනයාගේ ප්‍රශ්න පිළිබඳව හොඳින් හොයා බලන ආණ්ඩුවක් හැටියට ක්‍රියා කරන බවයි මේ පෙන්නුවේ. හෙට අනිද්දාට මීට වඩා අමාරු වුනොත් තවත් අපි සහනාධාර ලබා දෙනවා. අද අපි නිෂ්පාදන වර්ෂයක් හැටියට තමයි කටයුතු කරන්නේ. ඒ වර්ෂය අපි විශ්වාස කරනවා අපේ සියලු දෙනාම එකතුවෙලා මේ රට ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙළට ශක්තිය සහයෝගය ලබා දෙයි කියලා. ”යැයි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *