ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නැටුම් අංගය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.
පසුගිය වසර කිහිපය තුළ කාවඩි නැටුම් කණ්ඩායම්වල හැසිරීම් රටාව දැඩි විනය පිරිහීමකට ලක්ව ඇති බව පෙන්වා දුන් ඒ මහතා, ඇතැම් අවස්ථාවවලදී නර්තන ශිල්පීන්ගේ ඇඳුම් පැළඳුම් අසභ්‍ය මට්ටමක පැවති බවත්, රහස් ප්‍රදේශ පවා නිරාවරණය වන අයුරින් ඔවුන් හැසිරී ඇති බවත් අනාවරණය කළේය. බහුතරයක් පිරිස් දැඩි ලෙස මත්පැන් පානය කර පෙරහැරට එක්වී ඇති අතර, මෙම කණ්ඩායම් පිටුපස ඇතැම් පාතාල කල්ලිවල ක්‍රියාකාරීත්වය පවතින බවට බුද්ධි අංශ මඟින් තොරතුරු වාර්තා වී ඇත.
මෙම හේතූන් මත පෙරහැර නරඹන ජනතාවගේ සහ සහභාගී වන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවර කාවඩි අංගය ඉවත් කරන ලෙස නිර්දේශ කර තිබුණි. කෙසේ වෙතත්, අද උදෑසන වන විට දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් සියලු කණ්ඩායම්වලට අවස්ථාව ලබා දීමට කැමැත්ත පළ කරමින් ලිපියක් නිකුත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අද පස්වරුවේ මාතරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. විෂය භාර අමාත්‍යවරුන්, පොලිස්පතිවරයා සහ මාතර දිසාපතිවරයා ඇතුළු උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් පසු කාවඩි අංගය පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.













