දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායම් කිහිපයක සාමාජිකයන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අද (28) පෙරවරුවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, පෙරහරේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් 1,500ක පමණ පිරිසක් යොදවා ඇති අතර ඊට සහභාගීවන සියලු කාවඩි කණ්ඩායම් ක්ෂණික පරීක්ෂාවන්ට ලක්කිරීමට ද නියමිතය.
පෙරහරට කාවඩි කණ්ඩායම් සහභාගි කරවීම සම්බන්ධයෙන් පාතාල කණ්ඩායම් නායකයන් දෙදෙනකු අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායම් ගමන් කිරීම තාවකාලිකව අවලංගු කිරීමට පොලිස්පතිවරයා ඉකුත් ඉරිදා මාතර දිස්ත්‍රික් ලේකම් වෙත නිර්දේශ කර තිබුණද, ඊයේ (27) පැවති සාකච්ඡාවකින් පසු පසුගිය වසරවල කාවඩි නර්තනයන්ට ඉදිරිපත් වූ සියලු කණ්ඩායම්වලට මෙවර අවසර ලබාදීමට තීරණය කෙරුණි. මෙම පෙරහර අද පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතව ඇත.














