ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලෝකයේ නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් වේගයෙන්ම ප්‍රගතිය අත්කරගත් රටවල් අතර සිව්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් මෑතකදී නිකුත් කරන ලද 2026 ආයෝජන සබඳතා සහ ණය පාරදෘශ්‍යතා වාර්තාව මඟින් මෙම අතිශය ආඩම්බරකාරී පුවත අනාවරණය වී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ නවතම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 6.3 ක දැවැන්ත වර්ධනයක් ලබා ගනිමින් තම දර්ශක අගය 43.67 ක් දක්වා ඉහළ නංවා ගෙන තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පවtiන්නේ වියට්නාමය, බේලිස් සහ මොසැම්බික් යන රටවල් තුන පමණක් වීම මෙරට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
විශේෂයෙන්ම 2024 වසරේදී පමණක් මෙම වැඩසටහනට සම්බන්ධ වූ ශ්‍රී ලංකාව, ඉතා කෙටි කාලයක් තුළ මෙවැනි ඉහළ ප්‍රගතියක් අත්කර ගැනීම ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ණය පාරදෘශ්‍යතාව වෙනුවෙන් හිමිවන ලකුණු 13 න් ලකුණු 9.71 ක් ලබා ගැනීමටත්, ESG (පරිසර, සමාජීය සහ පාලන) දත්ත සහ ප්‍රතිපත්ති ප්‍රචාරණය වෙනුවෙන් වෙන් වූ ලකුණු 4 න් ලකුණු 3.25 ක් ලබා ගැනීමටත් රට සමත් වී තිබෙනවා.
ආයෝජකයින් සමඟ අඛණ්ඩව සබඳතා පවත්වා ගැනීම, නිල වෙබ් අඩවි හරහා නිවැරදි දත්ත ලබා දීම සහ ප්‍රතිපත්තිමය තොරතුරු විනිවිදභාවයෙන් යුතුව ඉදිරිපත් කිරීම මෙම පෙරළිකාර ප්‍රගතියට ප්‍රධාන වශයෙන් හේතු වූ බවයි ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පෙන්වා දී ඇත්තේ. ගෝලීය වශයෙන් ආයෝජක විශ්වාසය දිනා ගැනීමට මෙම විනිවිදභාවය විශාල රුකුලක් වී තිබෙනවා.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති මෙම මොහොතේ, ලෝක මට්ටමින් ලැබුණු මෙම පිළිගැනීම මෙරට අනාගතයට ගෙන එන්නේ සුබවාදී පෙරනිමිත්තක්.














