දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් හානියට පත් ඩයගම නැගෙනහිර ප්රදේශයට පිවිසෙන මාර්ගය ප්රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා වතු කම්කරුවන් සහ ප්රදේශවාසීන් පිරිසක් අද (26) විරෝධතාවක නිරත වී තිබේ.
පවතින අයහපත් කාලගුණය නොතකා පැවති මෙම විරෝධතාවේදී, හානියට පත් මාර්ග කොටස අවහිර කරමින් එය කඩිනමින් පිළිසකර කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
විරෝධතාවට එක්වූවන් පැවසුවේ, මාර්ගයේ කොටසක් නායයෑමෙන් පසු ප්රදේශවාසීන් සහ එම මාර්ගය භාවිත කරන රියදුරන් එක්ව මුදල් එකතු කර එය තාවකාලිකව ප්රතිසංස්කරණය කළ බවයි. එහෙත් පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ එම කොටස යළි ජල පහරට ගසාගෙන ගොස් ඇති බව ඔවුහු සඳහන් කළහ.
මේ හේතුවෙන් සාමාන්ය ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති අතර, ත්රිරෝද රථවලට පමණක් එම ස්ථානයෙන් ගමන් කළ හැකි බව විරෝධතාකරුවෝ පවසති. ගර්භණී කාන්තාවන්ට, පාසල් සිසුන්ට සහ අනෙකුත් ප්රදේශවාසීන්ට ද මේ හේතුවෙන් දුෂ්කරතා මතුව ඇති බව ඔවුහු පෙන්වා දෙති.
මාර්ගය නැවත නායයෑමේ අවදානමකට ලක් නොවන පරිදි ස්ථිරව ප්රතිසංස්කරණය කර දෙන ලෙස විරෝධතාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.











