කන්තලේ ලංකා විදුලිබල මණ්ඩල කාර්යාලය අසලදී අද (27) අලුයම සිදු වූ රිය අනතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ පැය කිහිපයක කාලයක් විදුලිය විසන්ධි වී තිබේ.
අද අලුයම 4:00 ට පමණ වේගයෙන් පැමිණි ජීප් රථයක් පාලනය කර ගත නොහැකිව විදුලිබල මණ්ඩල කාර්යාලයේ තාප්පයක සහ විදුලි කණුවක ගැටී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදුව නොමැති නමුත්, විදුලි කණුවට දැඩි හානි සිදුවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් ලක්ෂ 2 කට අධික මූල්‍යමය අලාභයක් සිදුව ඇතැයි ගණන් බලා තිබේ. කන්තලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.












