ලෝකයේ දරුණුතම මාරාන්තික වෛරස් රෝගයක් වන ‘ඉබෝලා’ (Ebola Virus) ආසාදනය වී ඇතැයි දැඩි ලෙස සැකකෙරෙන විදේශීය කාන්තාවක් පිළිබඳව ඉන්දියාවේ ජයිපූර් (Jaipur) ප්‍රදේශයෙන් වාර්තා වන බව විදේශීය මාධ්‍ය පවසයි.
අදාළ කාන්තාව උගන්ඩා (Uganda) ජාතිකයෙකු වන අතර, ඇය අද (05) පෙරවරුවේ සාර්ජාහි සිට ගුවන් මඟින් ජයිපූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. එහිදී සිදුකෙරුණු සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණවලදී ඇය ඉබෝලා රෝගයට සමාන ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය බලධාරීන් ඇයව ජයිපූර්හි RUHS රෝහල වෙත ඇතුළත් කර දැඩි හුදකලා (Strict Isolation) මට්ටමින් රඳවා තබා ඇත.
එම රෝහලේ අධිකාරී වෛද්‍ය අනිල් ගුප්තා මහතා ප්‍රකාශ කර ඇත්තේ, මෙම කාන්තාවට ඉබෝලා වෛරසය වැළඳී ඇති බවට මේ දක්වා නිල වශයෙන් ස්ථිර කර නොමැති වුවද, ඊට සමාන රෝග ලක්ෂණ පවතින බැවින් විශේෂ සෞඛ්‍ය ප්‍රොටෝකෝල (Infectious Disease Protocols) යටතේ නිරීක්ෂණය කරන බවයි. ඇයගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර, නිශ්චිත රෝග විනිශ්චය සඳහා වන රසායනාගාර වාර්තා නිකුත් වන තෙක් ඉන්දීය සෞඛ්‍ය අංශ දැඩි අවධානයකින් පසුවෙයි.
















