කොටුව මහේස්ත්රාත්වරයා අභියාචනාධිකරණය වෙත කළ යොමු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම ලබන 14 වැනි දිනට යළි කැඳවීමට නියෝග
පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කරන ලද ප්රකාශයක් මඟින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි නිගමනය කරමින්, කොටුව මහේස්ත්රාත්වරයා විසින් අභියාචනාධිකරණය වෙත කරන ලද යොමු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ රිට් පෙත්සම අද (10) දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන් ඉදිරියේ කැඳවන ලදී.
පෙත්සම්කාර දිලිත් ජයවීර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ යොමු කිරීම සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලද අසම්පූර්ණ තොරතුරු පදනම් කරගෙන බවයි. ප්රශ්නගත රූපවාහිනී සාකච්ඡාවේ කොටස් පමණක් උපුටා දක්වමින් වැරදි අදහසක් ඇතිවන ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කර ඇති බවත්, එහිදී මන්ත්රීවරයා විවේචනය කර ඇත්තේ CID හි ක්රියාකලාපය මිස අධිකරණයට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් නොතිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම සිද්ධියට සම්බන්ධ නඩු කටයුත්තක් එළඹෙන සැප්තැම්බර් 14 වැනි දින කැඳවීමට නියමිත බැවින්, මෙම රිට් පෙත්සම ද එදිනට කැඳවන ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා නියෝග කළේය.














