පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ පවුල් 465කට අයත් පුද්ගලයන් 1336 දෙනෙකු ඊයේ (23) වන විටත් දිවයින පුරා පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථාන 18ක රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම වාර්තා තහවුරු කරයි. ස්වාභාවික ආපදා තත්ත්වයන් මධ්‍යයේ සිය නිවාස අහිමි වූ මෙම පිරිස මාස ගණනාවක් ගතවී ඇතත් තවමත් සාමාන්‍ය ජන ජීවිතයට පිවිසීමට නොහැකිව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටිති.
මෙම තත්ත්වය බදුල්ල, කොළඹ, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි වඩාත් තීව්‍රව පවතින අතර, ඉන් වැඩිම පිරිසක් එනම් පවුල් 369ක සාමාජිකයන් 1003 දෙනෙකු බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 13ක රඳවා සිටිති. මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 133ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 140ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 61ක් ද තම නිවෙස් වෙත යාමට නොහැකිව ආධාර උපකාර මත යැපෙන තත්ත්වයකට පත්ව සිටින බව එම දත්ත පෙන්වා දෙයි.
දිගුකාලීනව පවතින මෙම අවතැන් වීමේ ගැටලුව, ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ පවතින මන්දගාමී ස්වභාවය සහ දිගුකාලීන පුනරුත්ථාපන වැඩසටහන්වල අවශ්‍යතාවය පිළිබඳව ප්‍රශ්න මතු කරයි. අවතැන් වූ පවුල්වලට ස්ථිර නිවාස විසඳුම් ලබාදීම සහ ඔවුන්ගේ ආර්ථික ස්ථාවරත්වය නැවත ගොඩනැංවීම මේ මොහොතේ රාජ්‍ය අංශයේ ප්‍රමුඛතම වගකීම බවට පත්ව ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරන්තරයෙන් මෙම පිරිසගේ යහපැවැත්ම පිළිබඳව අධීක්ෂණය කරමින් සිටී.
















