බියගම, යබරලුව ප්‍රදේශයේ නේවාසිකාගාරයක කාමරයක නවාතැන් ගෙන සිටි කාන්තාවන්ගේ නිරුවත් දර්ශන වීඩියෝ ගත කර ඒවා අන්තර්ජාල සමූහයකට මුදාහැරි විසි හැවිරිදි තරුණයෙකු බියගම පොලිසිය විසින් පෙරේදා (22) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. අසල්වාසී කාන්තාවකගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරමින් ඇය නින්දේ පසුවන අවස්ථාවන්හි කවුළුව හරහා වීඩියෝ ගත කිරීම සහ ඇයව අසභ්‍ය දර්ශන සහ වචන වලට පෙළඹවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් එම කාන්තාව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කෙරිණි.
සැකකරු සතුව තිබී සිද්ධියට භාවිත කළ ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු එම උපාංග තුළ කාන්තාවන්ගේ අසභ්‍ය දර්ශන ගබඩා කර ඒවා අන්තර්ජාලය ඔස්සේ බෙදාහැර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. පොළොන්නරුව, කලුකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මේ වන විට මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියෝග කර තිබේ.
ඩිජිටල් තාක්ෂණය අනිසි ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි අපරාධ සිදු කිරීම වර්තමානයේ බරපතල සමාජ ගැටලුවක් බවට පත්ව තිබේ. බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතාන මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි විමර්ශන අංශය සහ පරිගණක අපරාධ අංශය එක්ව මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් දියත් කර ඇති අතර, ඉදිරියේදී නීතිය ඉදිරියේ ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
















