ශ්‍රී ලංකාවේදී ‘Disrupt Asia 2026’ නමින් ජාතික තාක්ෂණික සමුළුවක් සහ නවෝත්පාදන උළෙලක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka (Pvt) Ltd ආයතනය ඒකාබද්ධව මෙම කටයුතු සංවිධානය කරයි.
දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සමුළුව තුළ ආරම්භක ව්‍යාපාර (startups) ප්‍රදර්ශනාගාරයක්, විවිධ තේමා යටතේ පැවැත්වෙන ප්‍රධාන සැසි, ප්‍රදර්ශනයක්, ජාලකරණ උළෙලක් සහ සමාන්තර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, කර්මාන්ත නායකයින්, විශ්වවිද්‍යාල සහ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු පුළුල් පාර්ශ්වකරුවන් පිරිසකගේ සහභාගීත්වය මෙහිදී අපේක්ෂා කෙරේ.
මෙම සමුළුව සංවිධානය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා කාර්යාලය උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් බව තහවුරු කර ඇති අතර, ඒ හරහා උළෙලට සැලකිය යුතු ජාත්‍යන්තර දෘශ්‍යතාවක් සහ සහයෝගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය ලබාගත් මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය මෙලෙස විධිමත් අනුමැතිය ලබා දී ඇත.














