දිට්වා ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ ජන ජීවිත සුවපත් කිරීම සහ විනාශ වූ වාරිමාර්ග, මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් 2026 වසර තුළ රුපියල් කෝටි 50,000ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
පසුගිය දිට්වා ආපදාවෙන් හානියට පත් පුත්තලම ආණමඩුවේ කච්චිමඩුව වැවේ වාන ඇතුළු වාරිමාර්ග හා යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. තාක්ෂණික හා මානව සම්පත් හිඟකම හමුවුවද හැකි ප්‍රථම අවස්ථාවේදීම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ බවත්, කච්චිමඩුව වැව, ලබුගල වැව සහ ගල්කිස්ස අමුණ ඇතුළු ප්‍රදේශයේ සියලු වාරි පද්ධතීන් පූර්ව තත්ත්වයටත් වඩා ශක්තිමත්ව නැවත සකස් කරන බවත් ඔහු සඳහන් කළේය. මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














