පසුගිය දින කිහිපය තුළ පැවති වර්ෂාපතනයත් සමඟ දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ යළි සක්‍රීයවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි. මේ වන විට පස ජලයෙන් සංතෘප්තව පැවතීම හේතුවෙන් කුඩා වර්ෂාවකදී වුවද නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවිය හැකි බව ඒ මහතා අවධාරණය කරයි.
හෙට (07) සහ අනිද්දා (08) යන දිනවල කාලගුණ පුරෝකථන අනුව වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බැවින්, පස්කණ්ඩි සෝදායෑම් සහ ගල් පෙරළීම් ඉතා අවදානම් සහගත විය හැක. මාර්ග භාවිතයේදී මෙන්ම ඇළ මාර්ග දෙපස ජීවත් වන ජනතාව මේ පිළිබඳව වඩාත් කල්පනාකාරී විය යුතු අතර, ජල උල්පත් මතුවීමක් හෝ විදුලි කණු ඇලවීමක් වැනි ලක්ෂණ දුටු වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙස දන්වා සිටියි.
පසුගිය කාලගුණ තත්ත්වය හමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සිදුවීම් 15ක් සහ නුවරඑළියෙන් සිදුවීම් 4ක් ඇතුළුව සමස්ත සිදුවීම් 21ක් වාර්තා වී ඇති අතර, නායයෑම් හේතුවෙන් මරණ 5ක් ද වාර්තා වී තිබේ. පැය 24 පුරාම ස්වයංක්‍රීය පද්ධති හරහා තත්ත්වය අධීක්ෂණය කරන බවත්, ඉවත්වීමේ උපදෙස් ලැබුණු මොහොතක ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් එම ස්ථානවලින් ඉවත් වන ලෙසත් ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.
















