තාරුණ්‍යයේ සිහිනය වන විදේශගත වී හොඳ ආදායමක් ලබාගෙන පවුල් ජීවිතය නංවාගැනීමේ අරමුණ වෙනුවෙන් පෙනී සිටින බවත්, රටේ ආර්ථික ජීවනාලිය වන විදේශගත ශ්‍රමිකයන් ආරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර 2023 දී අත්සන් කරන ලද ගිවිසුමට අනුව රැකියා 14,000 ක් ලබා දීමට නියමිතව තිබුණද, 2025 සහ 2026 වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. රජය හරහා යැවිය යුතු ප්‍රතිශතය පෞද්ගලික අංශයට ලබා දී ඇති බවත්, රජය හරහා යද්දී ලක්ෂ 4 ක පමණ මුදලක් වැය වුවද, පෞද්ගලික විදේශ රැකියා ආයතන හරහා යද්දී ලක්ෂ 45 ක පමණ දැවැන්ත මුදලක් අය කිරීම බරපතල වංචනික හා අසාධාරණ තත්ත්වයක් බවත් හෙතෙම සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අසාධාරණයට ලක්වූ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂකයින් වෙනුවෙන් අද (06) පොල්දූව මංසන්දියේ සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතා රැළියට එක්වෙමිනි.
ඊශ්‍රායලයට යාමට සුදුසුකම් ලැබූ 3,500 ක පිරිසකගේ සිහිනය සැබෑ කිරීම සඳහා 2023 ගිවිසුම්ගත ප්‍රතිශතය වන රජයේ මාර්ගයෙන් 70% ක් සහ පෞද්ගලික අංශයෙන් 30% ක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස රජය බල කළ යුතු බව ඔහු අවධාරණය කළේය. තරුණයින්ට ලක්ෂ 45 ක් වැනි අධික මුදලක් ගෙවා විදෙස්ගත වීමට සිදුවීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුව තුළ දැඩි ලෙස හඬ නගන බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















