දිට්වා සුළි කුණාටුවෙන් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හානියට පත් ජනතාවගේ සුභසාධනය සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මේ වන විට රුපියල් මිලියන 960කට අධික මුදලක් වෙන්කර ඇති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් මහතා ප්‍රකාශ කර තිබේ.
පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පීඩාවට පත් ජනතාව නැවත නඟා සිටුවීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී මේ බව අනාවරණය විය.
ප්‍රදේශයේ ජනතාව වෙත ලබා දී ඇති සහනාධාර සහ මූල්‍ය ආධාර අතරට රුපියල් 25,000 දීමනාව පවුල් 1,413ක් සඳහාද, රුපියල් 50,000 දීමනාව පවුල් 289ක් සඳහාද ලබා දී ඇත. මරණ වන්දි වශයෙන් පවුල් 15ක් සඳහා එක් අයෙකුට රුපියල් 1,050,000 බැගින් ලබා දී තිබේ. නව නිවෙසක් මිල දී ගැනීම සඳහා පවුල් 29කට සහ නව නිවෙසක් ඉදිකිරීම සඳහා පවුල් 46කට රුපියල් ලක්ෂ 50 බැගින් ආධාර මුදල් ලබා දෙමින් පවතී. අර්ධ ලෙස හානියට පත් නිවාස සඳහා නැවත තක්සේරු නොකර පවුල් 100ක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් සහ නැවත තක්සේරු කර පවුල් 20ක් සඳහා ද ආධාර ලබා දී ඇත. නැවත පදිංචි කිරීම් සඳහා පවුල් 56ක් සඳහා ද ආධාර මුදල් ලබා දීම ක්‍රියාත්මක වේ.
මීට අමතරව, පූජාපිටිය ප්‍රාදේශීය සභාව මඟින් රුපියල් මිලියන 160ක යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ද මේ වන විට කඩිනමින් සිදු කරමින් පවතී.














