2020 වසරේ සිට 2025 වසර දක්වා කාල සීමාව තුළ වෛද්‍යවරුන් 3,791ක් විදේශගත වී ඇති අතර, ඒ අතරින් වැටුප් රහිත නිවාඩු ලබා විදෙස්ගත වූ සාමාන්‍ය වෛද්‍යවරුන් 1,429ක් සහ විශේෂඥ වෛද්‍යවරුන් 140ක් (මුළු එකතුව 1,569ක්) වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, මෙම විදෙස්ගතවීම්වලින් වැඩි පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත විදේශ පුහුණු ලබාගැනීමට ගිය අය බව ඔහු පැවසීය. මීට අමතරව, ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරයකුගේ මූලික වැටුප 2026 වසරේදී රුපියල් 84,574ක් වන අතර 2027 ජනවාරි 01 වැනි දින සිට එය රුපියල් 94,150 දක්වා වැඩිවන බවත්, විශේෂඥ වෛද්‍යවරයකුගේ ආරම්භක වැටුප 2027 වන විට රුපියල් 156,000 දක්වා ඉහළ යන බවත් හෙතෙම සඳහන් කළේය. වෛද්‍යවරුන් මුහුණපාන අතිකාල සහ ඔන්-කෝල් (On-call) දීමනා ගැටලු සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ලබා දීමට රජයේ අවධානය යොමුව ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














