‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සංවේදී ස්වභාවික වනාන්තර ප්‍රදේශවලින් 34%ක් විනාශ වී ඇති බවත්, එය ප්‍රධාන ගංගා ද්‍රෝණි 7ක පරිසර පද්ධතිවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් වාර්තා වේ. මෙම විනාශය නිසා පාංශු ඛාදනය සහ ස්වභාවික ජල මූලාශ්‍ර සිඳීයාමේ බරපතල අවදානමක් මතුව ඇත.
දශක ගණනාවක අක්‍රමවත් ඉඩම් භාවිතය සහ පවතින දේශගුණික අහිතකර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා නව අධිකාරියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවේ අරමුණ වන්නේ, එම ප්‍රදේශ සඳහා තිරසාර ආරක්ෂණ වැඩසටහන් සංවර්ධනය කිරීම සහ දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමයි.
මෙම අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා අදියර තුනක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය:
තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කර අධිකාරියේ ව්‍යුහය සහ විෂය පථය හඳුනා ගැනීම.
අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම.
ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය නිල වශයෙන් පිහිටුවීම.
















