‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් 1,000කට ආසන්න පිරිසක් කඩිනමින් ආරක්ෂිත සහ ජීවත්වීමට සුදුසු නිවාසවල පදිංචි කරවීම රජයේ මූලික අරමුණ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පවසයි. යුද හමුදා මූලස්ථානයේදී පැවති විශේෂ සම්බන්ධීකරණ රැස්වීමකදී ඒ මහතා අවධාරණය කළේ කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක අන්තර් නිවාස ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කමයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු තාක්ෂණය සහ ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් ලබන මැයි මස මුල් සතියේ මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර ඉතා කෙටි කාලයක් තුළ ඒවා නිම කිරීමට සැලසුම් කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් රැසක් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී අවතැන් වූ පිරිස් වෙනුවෙන් උපරිම සහනයක් සැලසීම සඳහා රජයේ කැපවීම යළිත් තහවුරු විය.














