දිට්වා සුළි කුණාටුවෙන් පසු වාරි වැවක් කැඩී යෑම හේතුවෙන් කොත්මලේ රම්බොඩගම සහ කන්දේයාය ප්රදේශවල ජනතාව තවදුරටත් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව ප්රදේශවාසීහු පවසති.
කොත්මලේ ඉහළ කඳු ප්රදේශයේ සිට කොත්මලේ ජලාශයට ජලය ගලා බසින ඇළ මාර්ගයක ජලය ගම්මානවල සිට කොත්මලේ නව නගරයට පිවිසෙන මාර්ගය දිගේ ගලායෑම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
වැව කැඩී යෑමත් සමඟ මාර්ගයේ මීටර් 500ක පමණ කොටසකට හානි සිදුව ඇති බව වාර්තා වේ. අධික වර්ෂාවත් සමඟ ඇළ මාර්ගය ඔස්සේ ගල් සහ පස් ගලාවිත් මාර්ගයේ රැඳෙන බැවින් ගම්වාසීන් එක්ව ඒවා ඉවත් කිරීමට ද කටයුතු කරති.
ප්රදේශවාසීන් පවසන්නේ ගම්මාන දෙකේ පවුල්වලට රෝහලකට යෑමට, පාසල් දරුවන්ට පාසල් වෙත ළඟාවීමට සහ දෛනික ගමනාගමනය සඳහා මෙම මාර්ගය අත්යවශ්ය බවයි.
ගම්වාසියකු වන ආර්. ගාමිණි මහතා සඳහන් කර ඇත්තේ දිට්වා සුළි කුණාටුවෙන් ගලා ආ ජලය සහ ගල් බොරලු හේතුවෙන් ඇළ මාර්ගය අවහිර වූ බවත්, ගම්වාසීන් එක්ව මාර්ගය යළි භාවිත කළ හැකි තත්ත්වයට පත් කළ බවත්ය.
පවතින වර්ෂා තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් පිළිබඳව ද ප්රදේශවාසීහු කනස්සල්ල පළ කරති. ගම්මානවල ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බව ඔවුහු ඉල්ලා සිටිති.
















