‘ඩිත්ව’ (Ditwa) සුළි කුණාටු ආපදාව හේතුවෙන් බලපෑමට ලක්වූ අධ්‍යාපන ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ යුනිසෙෆ් දූත පිරිස අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙම හමුවේදී ‘ඩිත්ව සුළි කුණාටු අධ්‍යාපන හදිසි ප්‍රතිචාර සැලැස්මෙහි’ (Cyclone Ditwah Education Emergency Response Plan) පළමු අදියරේ ප්‍රගතිය (ජනවාරි–අප්‍රේල් 2026) මූලික කරගනිමින්, ආපදාවට ලක්වූ දරුවන් සහ පාසල් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන්වල වත්මන් තත්ත්වය පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදුකරන ලදී.
ආපදාවෙන් අවතැන් වූ සිසුන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම සහ ඔවුන්ගේ සුබසාධනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය සහ යුනිසෙෆ් ආයතනය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි. ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත එමා බ්‍රිගම් (Emma Brigham) සහ නියෝජ්‍ය නියෝජිත බෙගෝනා අරෙලනෝ (Begona Arellano) යන මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, පවතින අභියෝග ජය ගනිමින් දරුවන්ගේ අධ්‍යාපනික අනාගතය සුරක්ෂිත කිරීමේ උපායමාර්ගික පියවර පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත්හ.
පළමු අදියරේ ප්‍රගතිය මත පදනම්ව, ඉදිරි ක්‍රියාමාර්ග සහ ප්‍රතිචාර සැලැස්මේ මීළඟ අදියර සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සම්පත් සහ තාක්ෂණික දායකත්වය ලබාදීමට දෙපාර්ශවය එකඟත්වය පළ කළහ. ‘ඩිත්ව’ ආපදාව වැනි ස්වාභාවික විපත්වලින් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුවන බලපෑම් අවම කර ගනිමින්, අනාගතයේදී වඩාත් ඔරොත්තු දෙන (Resilient) අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමේ වැදගත්කම මෙම සාකච්ඡාව හරහා පැහැදිලි විය. මෙම හවුල්කාරිත්වය මගින් බලපෑමට ලක්වූ දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය ශක්තිමත් පසුබිමක් නිර්මාණය වනු ඇති බව විශ්වාස කෙරේ.















