දියබෙදුම පොලිස් වසමට අයත් අත්තනකඩවල ප්‍රදේශයේ අද (09) පෙරවරුවේ සිදුවූ දරුණු වන අලි ප්‍රහාරයකින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව දියබෙදුම පොලිසිය පවසයි. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.
අද උදෑසන 9:00ට පමණ කඩා වැදුණු මෙම වන අලියා මුලින්ම යාය 29 ගම්මානයේදී පුද්ගලයන් දෙදෙනෙකුට පහරදී ඇති අතර, පසුව එතැනින් පලායන අතරතුර යාය 30 ගම්මානයේ සිය නිවස අසල රැඳී සිටි කාන්තාවකට ද බිහිසුණු ලෙස පහරදී ඇත.
අලි ප්‍රහාරයට ලක්වීමෙන් එම ස්ථානයේදීම දෙදෙනෙකු මියගොස් ඇති අතර, ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මේ වන විට පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. ප්‍රදේශවාසීන් පවසන්නේ වන අලි තර්ජනය හේතුවෙන් ගම්මාන කිහිපයක ජනතාව දැඩි භීතියකට පත්ව ඇති බවයි.
















