දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන ආපදා අවදානම ඉහළ ගොස් ඇති නමුත්, ඊට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සතු සම්පත් සහ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා අනතුරු අඟවයි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගියදා බලපෑ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුව අවස්ථාවේදී ද මධ්‍යස්ථානය දැඩි අභියෝගවලට මුහුණ දුන් බවයි.
පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේ රාත්‍රී මුර සේවා නිලධාරීන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම සහ කාර්යාල වේලාවෙන් පසු සිදුවන ආපදාවලට ප්‍රතිචාර දැක්වීම දිස්ත්‍රික් මට්ටමින් ප්‍රමාද වීම වැනි ගැටලු පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය. පවතින සේවක හිඟය මඟහරවා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඒකාබද්ධ කිරීමට පියවර ගනිමින් සිටියද, ඊට තවමත් කල්ගත වන බව හෙතෙම සඳහන් කළේය. එමෙන්ම ලංකාව තවමත් සුනාමි අවදානමක පවතින බවත්, අන්දමන් දූපත් ආශ්‍රිතව සුනාමියක් හටගතහොත් විනාඩි 40ක් වැනි කෙටි කාලයකදී මුහුදු රළ මෙරටට ළඟා විය හැකි වුවත් වෙරළබඩ පවතින සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු බොහොමයක් මේ වන විට අක්‍රිය මට්ටමේ පවතින බැවින් ඒවා කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















